Friday, March 18, 2016

HIV/AIDS

ඒඩ්ස් උවදුර (HIV/AIDS )

ලොවපුරා ඉතා කතාබහට ලක්වන නමුත් අප රට තුල වැඩි කතාබහක් නැති වුනත් අවදානමක් ඇති මාතෘකාවක් ලෙස HIV/AIDS නැතහොත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයෙන් සෑදෙන අත්පත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණ රෝගය දැක්විය හැකිය. මෙම සමාජ රෝගය අදවන විට ලෝකයට කොපමණ හිසරදයක්ද වී ඇත්ද කියනව නම් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝක ජනගහනයෙන්, මිලයන 39.9 ක් මිනිසුන් HIV වෛරසයට ගොදුරු වී තිබෙනව. ඉන් මිලියන 2.6 ක් අවුරුදු 15 ට අඩු දරුවන් වනව. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට අවුරුද්දක් තුල ලෝක ජනගහනයෙන් මිලියන 2ක් පමණ HIV වෛරසයට අලුතින් ගොදුරු වනව. ඉතින් ඔබට පෙනෙනවා ඇති HIV/AIDS පිලිබඳ අවබෝදයක් ලබා සිටීම අද වන විට අත්‍යවශ්‍යය කරුණක් වී ඇති බව.

HIV  කියන්නෙ මොකක්ද?

HIV (Human Immunodeficiency Virus) කියන්නෙ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයි. ඉතින් මෙම වෛරසය වැලදීමත් සමඟ ප්‍රතිකාර නොකළහොත් වන්නෙ AIDS (අත්පත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණ) නම් රෝගී තත්වය වැළදීමයි. මෙම වෛරසය අනෙකුත් වෛරස වලට වඩා වෙනස් අන්දමින් තමයි  ක්‍රියාකරන්නෙ. මනුෂ්‍ය දේහයට HIV වෛරසය අසාදනය වුවහොත් කිසිමදාක එය සම්පුර්ණයෙන්ම දේහයෙන් ඉවත් කිරීමට හැකියවක් ලැබෙන්නෙ නැත. ඉතින් ඔබට එය එක්වරක් වැළදුනොත්, ඔබට සිදුවෙනව ඔබගේ ජීවිතකාලය පුරාවටම ඔබගේ දේහය තුල එය රදවාගෙන සිටීමට.
HIV මඟින් ප්‍රහාරයට ලක්වන්නෙ දේහයේ ප්‍රතිශක්ති පද්ධතියයි, විශේෂයෙන්ම CD4 සෛලයි (T සෛල). එම සෛල දේහයේ ප්‍රතිශක්ති පද්ධතියට උපකාරී වනව ආසාදනයකදී ඊට එරෙහිව සටන් කිරීමට. වෛරස අසාධානයෙන් පසු දිගටම එම සෛල ප්‍රමාණය අඩුවීම සිදුවනවා. තවමත් HIV වෛරසයෙන් මිදීමට නිසි ප්‍රතිකාරයක් සොයාගැනීම ලෝකවාසීන්ට හැකියාවක් ලැබී නොමැත. නමුත් නිසිප්‍රතිකාර හමුවෙ හැකියාවක් පවතිනව එම වෛරසය පාලනය කිරීමට.
     

AIDS කියන්නෙ මොකක්ද?

AIDS (Acquired Immunodeficiency Syndrome) යනු HIV වෛරස ආසාදනයේ අවසාන අවධියයි. HIV වෛරසය වැළදීමෙන් පසු, රුධිර ඝණ මිලිමීටරයක T සෛල 200 ට වඩා අඩුවේ නම් දේහය AIDS රෝගයට ගොදුරු වී ඇත. සාමාන්‍යයෙන් නීරෝගී පුද්ගලයකුගේ  T සෛල 500ත් 1600ත් අතර ප්‍රමාණයක් රුධිර ඝණ මිලිමීටරයක පවතිනව. AIDS  රෝගය වැළදී ඇතිබව සොයාගෙන නමුත් ප්‍රතිකාර නොකර පුද්ගලයෙකුට ජිවත් වීමට හැකියාවක් පවතින්නේ උපරිම අවුරුදු 3ක් පමණය. නමුත් දරුනුලෙස රෝගය වැළදී තිබුනොත් එම කාලය අවුරුද්දකට පමණ සීමාවෙනවා. AIDS වැළදුනු පුද්ගලයකුට මරණයෙන් ගැලවීමට නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

කොහෙන්ද HIV වෛරසය ආවේ?


විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙන අන්දමට මෙම වෛරසයේ මුලාශ්‍රය වන්නෙ මධ්යම අප්‍රිකාවේ ජිවත් වෙන චින්පන්චින් විශේෂයකි. ඔවුන්ගේ මතයට අනුව දැක්වෙන්නේ මිනිසුන් මෙම සත්වයන් දඩයම් කොට ඔවුන්ගේ මස් ආහාරයට ගැනීම තුලින්  එම පුද්ගලයන්ගේ රුධිරයට මෙම HIV වෛරසය අසාධනය වන්නට ඇතිබවයි.  අධ්‍යන වලට අනුව පෙනී යන්නෙ මෙම වෛරසය වඳුරන්ගෙන් මනුෂ්‍යන්ට පැමිණෙන්නට ඇත්තේ 1800 වකවානුවේ දී කියාය. දශක ගණනාවක් මෙම වෛරසය අප්‍රිකාව පුරාත් ඉන්පසුව ලෝකයේ අනෙක් පෙදෙස් වලටත් සෙමින් පැතිර ගොස් ඇත.


EmoticonEmoticon